by Staff writer 14-11-2019 | 5:45 PM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළේ ය.
මෙම නියෝගය නිකුත් කළේ, පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය දීම සඳහා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගැනීම සහ ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරී 14 වන දා ආරම්භ කිරීමට එහිදී දින නියම කෙරිණ.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 6 දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
අධිකරණය පෙර නඩු දිනයේදී කරන ලද නියෝගය අනුව මේජර් නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.