ගම්මැද්ද ක්‍රියාන්විතය සාක් සම්මානයකින් පිදුම්ලබයි

ගම්මැද්ද ක්‍රියාන්විතය සාක් සම්මානයකින් පිදුම් ලබයි

by Staff writer 14-11-2019 | 9:50 PM
COLOMBO (News 1st) : දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙවත් සප්සා 2019 උළෙලේදී 'ගම්මැද්ද ක්‍රියාන්විතය' ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා ආයතනික සේවා වගකීම උපරිමයෙන් භාවිත කිරීම සඳහා වූ සාක් සම්මානයෙන් පිදුම් ලැබී ය. සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්විණ. සප්සා 2019 සම්මාන උළෙල සංවිධානය කරනු තිබුණේ, දකුණු ආසියානු සහයෝගිතා සමුළුව විසිනි. දකුණු ආසියානු රටවල දේශපාලන, සමාජීය, ආර්ථික, මූල්‍ය සහ ආයතන යන අංශ සියල්ල ආවරණය කරමින් මෙහිදී සම්මානය ප්‍රදානය කෙරිණ. අද දිනයේ සම්මානයට පාත්‍ර වූ ගම්මැද්ද ක්‍රියාන්විතය ආරම්භ කෙරුණේ, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයකට අනුවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව පසුගිය වසර ගණනාවක් තිස්සේ ගම්මැද්ද ක්‍රියාන්විතය මෙරට ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නගාසිටුවීම සඳහා ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේ ය. එය ඇගයීමට ලක් කරමින් අද ගම්මැද්ද ක්‍රියාන්විතය සම්මානයෙන් පිදුම් ලැබුවේ, සියලු සාක් රටවල් අතරින් හොඳම සමාජ සත්කාරක වැඩසටහන ලෙසයි. කොළඹදී පැවති මෙම සම්මාන උළෙලට සාක් රටවල ජ්‍යෙෂ්ඨ නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. පසුගිය වසරේ මෙම සම්මාන උළෙල පැවැත්වුණේ, බංගලාදේශයේදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/458684558102902/