ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මි.150ක ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ඩොලර් මි.150ක මූල්‍යාධාරයක්

by Staff writer 14-11-2019 | 6:43 PM
COLOMBO (News 1st) : ආසියානු සංවර්ධන බැංකුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍ය ආධාර ලබා දී තිබේ. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ග්‍රාමීය මාර්ග කි.මී. 3400 කට වැඩි ප්‍රමාණයක් සහ ජාතික මහා මාර්ග කි.මී. 340 ක් සංවර්ධනය කිරීම සඳහා දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මෙම අරමුදල ලබා දී ඇති බවයි. මෙම ආයෝජන වැඩසටහන මඟින් ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අරමුණු කෙරෙන අතර, රටේ ආර්ථිකය හා සමාජ සංවර්ධනය සඳහා ග්‍රාමීය ජනතාවගේ දායකත්වය වැඩි කෙරෙනු ඇති. මෙම සංවර්ධන වැඩසටහන සඳහා වූ ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරු අත්සන් තැබූහ. ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් අත්සන් කරනු ලැබුවේ, එහි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් භාර නිලධාරීනී මංජුලා අමරසිංහ මහත්මියයි.