අලි රොෂාන් ගැන ඉදිරි පියවර දැනුම් දෙන්නැයි, නියෝග

අලි රොෂාන් සම්බන්ධ ඉදිරි පියවර ගැන දැනුම් දෙන්නැයි, අධිකරණයෙන් නීතිපතිට නියෝග

by Staff writer 14-11-2019 | 3:59 PM
COLOMBO (News 1st) : නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව ලබන දෙසැම්බර් 2 වැනිදා අධිකරණයට දැනුම් දෙන්නැයි, කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද නීතිපතිවරයාට නියෝග කළේ ය. අදාළ නියෝගය නිකුත් කළේ , නීතිවිරෝධි අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව, විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පිටබැඳි යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය නිකුත් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ එකී අධිචෝදනා පත්‍රය මත නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව තම විනිසුරු මඬුල්ල තීරණය කර ඇති බවයි. එම අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීම හෝ විත්තිකරුවන්ට එරෙහිව නියමිත අධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පැමිණිල්ලට අවසර හිමි වන බව ද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ ය.