ජනපති අපේක්ෂකයින්ගේ ප්‍රචාරක රැළි අදින් අවසන්

ජනපති අපේක්ෂකයින්ගේ ප්‍රචාරක රැළි අදින් අවසන්

by Staff writer 13-11-2019 | 4:48 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් ජනාධිපති අපේක්ෂකයින්ගේ අවසන් ප්‍රචාරක රැළි අද පස්වරුවේ පැවැත්වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අද පැවැත්වෙන්නේ කොළඹ ටවර් රගහල අසලදී ය. සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන තවත් රැළියක් හම්බන්තොට නගරයේ ජන රැළිය මේ වනවිට ආරම්භ වී තිබේ. ඉන් අනතුරුව වැලිගම සහ ගාල්ල නගරවල පැවැත්වෙන ජන රැළිවලට ද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වනු ඇති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළිය අද හෝමාගමදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන රැළියක් මේ වනවිට මාතර නගරයේ පැවැත්වේ. ඊට අමතරව පිළියන්දල නගරයේදී ද ඔහු සහභාගී වන ජන රැළියක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය මහරගම නගරයේදී පැවැත්වේ. ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානානයක මහතා සහභාගී වන රැළිය අද පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙනු ඇති.