ජනාධිපතිවරණය වෙනුවෙන් විදෙස් නිරීක්ෂකයින් පිරිසක් අද දිවයිනට

ජනාධිපතිවරණය වෙනුවෙන් විදෙස් නිරීක්ෂකයින් පිරිසක් අද දිවයිනට

ජනාධිපතිවරණය වෙනුවෙන් විදෙස් නිරීක්ෂකයින් පිරිසක් අද දිවයිනට

කර්තෘ Staff writer

12 Nov, 2019 | 7:52 am

COLOMBO ( News 1st ) – ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත විදේශීය නිරීක්ෂක කණ්ඩායමක් අද සහ හෙට මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.

කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන විදේශීය නිරික්ෂණ කණ්ඩායමට ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, මාලදිවයින, භූතානය, පිලිපීනය හා මියන්මාරය යන රටවල නිරීක්ෂකයින් ඇතුළත් වන බවයි.

මෙවර සමස්ත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින් 150කට අධික පිරිසක් යොදවනු ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට එම නිල ඡන්ද පත්‍රිකා ලබන 16 වනදා සවස 5.00 වන තෙක්ම තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ජාතික හැඳුනුම්පත ඉදිරිපත්කර ඡන්ද පත්‍රිකාව ලබා ගත යුතු බව ආරියරත්න මහතා පැවසුවේ ය.

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම පසුගිය මස 26 වන දා ආරම්භ කළ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ 98 %කට වැඩි පිරිසකට නිල ඡන්ද පත්‍රිකා බෙදා අවසන් වූ බවයි.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් අනිද්දා පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට අනුමැතිය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම සඳහා එම පාසල් ග්‍රාම නිළධාරින් වෙත භාරදෙන බවයි.

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් ලබන 15 වැනිදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]