රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු නිදහස් කළ හේතුව..

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු නිදහස් කළේ බොහෝ ඉල්ලීම් හා කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි - ජනපති

by Staff writer 11-11-2019 | 6:37 PM

COLOMBO ( News 1st ) - රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි ශ්‍රමන්ත ජුඩ් ඇන්තනි ජයමහා ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම සහ කරුණු රැසක් සලකා බැලීමෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, දීර්ඝ පැහැදිලි කිරීමකින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ය. එහි දැක්වෙන්නේ මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මුලිකත්වය ගෙන සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරමින් අවශ්‍ය මැදිහත්වීම සහ සම්බන්ධීකරණ කටයුතු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ බවයි. උන්වහන්සේ මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිතුමාගෙන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී බන්ධනාගාරය තුළ යහපත් කල් ක්‍රියාවෙන් යුක්තව සිටීම, බන්ධනාගාරගතව සිටිමින් බාහිර උපාධිය නිමකර ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බැවින් හා මනා පෞරෂත්වයෙන් යුත් උගත් බුද්ධිමත් තරුණයෙකු ලෙස පෙනී යන බැවින්, කාරුණිකව සලකා බලා ඔහුට ජනාධිපති සමාව ලබාදෙන්නේ නම්, එය සාධාරණ සහ මානුෂීය කාරණයක් වන්නේ යැයි රතන හිමියන් පෙන්වා දුන් බවයි. පුජ්‍ය බද්දේගම සමිත හිමියන් ද, මොහුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ජනාධිපතිතුමාට කරුණු පෙන්වා දුන් බවත්, යහපත් පුරවැසියෙකු ලෙසත් උගත් පුරවැසියෙකු ලෙසත් ඉදිරි කාලයේදී, හොදින් කටයුතු කරන බව පෙනී යන බැවින්, සානුකම්පිතව ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, පුජ්‍ය කෙරදේවල පුණඤ්ඤරතන හිමියන් සහ දකුණු පළාත් කතෝලික පදවියේ, රේමන් වික්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිතුමා වෙත පෙන්වා දී ඇත්තේ, ස්වයං පුනරුත්තාපනයට ලක්ව ඇති උගත් සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ද ආශිර්වාදය හිමිවන බවයි. වසර 15කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි, ශ්‍රමන්ත ජුඩ් ඇන්තනි බන්ධනාගාරය තුළ සිටම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ මුල්‍ය පිළිබඳ බාහිර උපාධිය සම්පුර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ද ජනාධිපතිතුමාට පෙන්වා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලා ඔහු ගතකර ඇති සිරදඬුවම් කාලය සලකා බලා සමාව ප්‍රදානය කිරීම සාධාරණ වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන් බවයි. මීට අමතරව නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ද මොහුට සමාව දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව, ශ්‍රමන්ත ජුඩ් ඇන්තනිගේ කල් ක්‍රියාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද වාර්තා ලබා ගනිමින් සහ රාජ්‍ය ආයතන වලින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ කරුණු සලකා බැලීමට ජනාධිපතිතුමා ක්‍රියාකල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඒ අනුව තවමත් 34 හැවිරිදි තරුණයෙකු වන ඔහුට යහපත් උගත් පුද්ගලයෙකු ලෙස රටට සේවය කිරීමට ඇති හැකියාව ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත තීරණය ගන්නා බව වාර්තාවීමත් යන කරුණු සලකා බලා ශ්‍රමන්ත ජුඩ් ඇන්තනිට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ.