පන්දුවාර 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට

බංග්ලාදේශයට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට

by Staff writer 11-11-2019 | 7:58 AM
COLOMBO (News 1st) : බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් 20යි 20 තරගය ලකුණූ 30 කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛයාව 174කි. හය වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ ලොකේෂ් රාහුල් ලකුණූ 52 ක් රැස් කළේ ය. 20යි 20 දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ශ්‍රෙයාස් අයියර් ලකුණු 62 යි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ තුන්වැනි කඩුල්ලට මොහොමඩ් නයීම් සහ මොහොමඩ් මිතුන් ගොඩනැගූ සබදතාව ලකුණු 98කි. මොහොමඩ් මිතුන් ලකුණු 27 ක් රැස් කළ අතර මංගල 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ මොහොමඩ් නයිම් ලකුණු 81 ක් රැස් කළේ, හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් සමගිනි. ඔවුන් දෙදෙනා හැරුණු කොට අනෙක් කිසිදු පිතිකුරවෙකුට ලකුණූ 10 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී ශිවම් ඩුබේ කඩුලු 3 ක් දවා ගත් අතර සිය අවසන් කඩුලු 3 අඛණ්ඩ පන්දු 3කදී බිඳ හෙළමින් කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කළ දීපක් චහාර් ලකුණු 7කට කඩුලු 6ක් බිඳ හෙළූහ. එමෙන්ම එම පන්දු යැවීමේ දක්ෂතාවය ඉතිහාසගත වූයේ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක දී වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. ශ්‍රී ලංකවේ අජන්ත මෙන්ඩිස් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ය. ඔහු ලකුණු 8කට කඩුලු 6ක් බිඳ හෙළා එම වාර්තාව පිහිටුවා තිබිණ.