හෙම්මාතගම තරුණියට අතවර කළ තරුණයා රිමාන්ඩ්

හෙම්මාතගම තරුණියට අතවර කළ තරුණයා රිමාන්ඩ්

by Staff writer 09-11-2019 | 6:56 PM
COLOMBO (News 1st) : කෑගල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකාර තරුණයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව මහේස්තත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. අදාළ තරුණිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා තවදුරටත් රෝහල්ගත කර සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 20 ට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. මේ අතර අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් හෙම්මාතගම පොලිස් ස්ථානයේ, නිලධාරින් ති දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. එලෙස වැඩ තහනම් කර ඇත්තේ , උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේයි. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත , කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ පියා විසින් ‍හෙම්මාතගම පොලීසියට පැමිණිලි කර තිබිණ.