හෙම්මාතගම පොලිස් නිලධාරීන් 3කගේ වැඩ තහනම්

හෙම්මාතගම අතවර සිද්ධියේ විමර්ශන: පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

by Staff writer 09-11-2019 | 7:45 AM

COLOMBO ( News 1st ) - හෙම්මාතගම පොලිස් ස්ථානයේ, නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තරුණියකට ලිංගික අතවර කිරීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්, නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් අදාළ නිලධාරින්ගේ වැඩ තහනම් කළ බවයි. එලෙස වැඩතහනම් කර ඇත්තේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත, කෑගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. කෑගල්ල ප්‍රදේශයේ පැවති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ තරුණියගේ පියා විසින් ‍හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර තිබුණි.