සජිත්ගෙන් මහින්දට ප්‍රශ්න 4ක අභියෝගයක්

සජිත් ප්‍රේමදාසගෙන් මහින්ද රාජපක්ෂට ප්‍රශ්න 4ක අභියෝගයක්

by Staff writer 08-11-2019 | 6:16 PM
COLOMBO (News 1st) : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රාජපක්ෂ මහතාගේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අතිපූජ්‍ය මහානායක ස්වාමින්වහන්සේ ඇදගෙන යාමට ගත් මංමුලා සහගත උත්සාහය තරයේ හෙළා දකින බවයි. තමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කිරීමෙන් රාජපක්ෂ මහතා වෙනුවෙන් විවාදයකට අවතීර්ණ වන ලෙස අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කරයි. රාජපක්ෂ මහතාගේ දැන ගැනීමට යැයි, පවසන සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් ලබාගත් පළමු අය අතර අතිපූජ්‍ය මහානාහිමිවරුන් වන බවයි. තමාට රටේ ජනතාවගෙන් සැඟවීමට කිසිවක් නොමැති බව ද ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. ඒකීය රාජ්‍යය තුළ උපරිම බලය බෙදා හැරිමට මම කැපවී සිටිමි. .මම එය ඒකීය, නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් ලෙස හඳුන්වන්නෙමි යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයෙන් කරුණු දක්වා තිබේ. ඒ අනුව ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාට එය ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි බවයි. තමා නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය, ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇතැයි ද ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ඇති ලොකුම තර්ජනය ඇතිවන්නේ අන්තවාදීන්ගේ කල්ලියකින් බවයි. රාජපක්ෂ මහතා මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට පවසන්නේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණදීමට ධෛර්ය නොමැති බැවින්, තමා විමසන ප්‍රශ්න 4 ට මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පිළිතුරු ලබාදිය යුතු බවයි. එම ප්‍රශ්න 4 මෙසේයි.  පිල්ලේයාන් සමග ඔබේ රහස් ගනුදෙනුව එම ප්‍රශ්නය විමසමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ නත්තල් දින යාඥා කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කළ පිල්ලේයාන්ගේ සහයෝගය වෙනුවෙන් ඔහු නිදහස් කරන බවට පොරොන්දු වී ඇති බවයි. නැගෙනහිර ළමුන් පැහැරගෙන ගොස් ඊළම වෙනුවෙන් සටන් කිරීමට බල කළ පිල්ලේයාන් නිදහස් කළ පසු නැවත වරක් නැගෙනහිර ජනයා බියගැන්වීමට ඔහුට ඉඩදෙන්නේදැයි ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි. වර්ධරාජා පෙරුමාල් සමග ඔබේ රහස් ගනුදෙනුව ? ඒ ප්‍රේමදාස මහතාගේ දෙවන ප්‍රශ්නයයි. ඒ යටතේ ඔහු විමසන්නේ රාජපක්ෂ මහතාගේ සහෝදරයාට පක්ෂපාතී යැයි ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් මහ ඇමති ලෙස නීතිවිරෝධිව ඊළාම් ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කර , ඊළාම් ධජය එසවූ අයෙකු බැවින්, එම ඊළාම්වාදීයාගේ පක්ෂපාතීත්වය දිනා ගැනීමට පොරොන්දු වී ඇත්තේ කුමක් ද යන්නයි. ප්‍රේමදාස මහතාගේ තෙවන ප්‍රශ්නය වන්නේ කරුණා අම්මාන් සමග ඔබේ රහස් ගනුදෙනුවයි . පොලිස් නිලධාරින් 600 ක් මරා දැමූ දළඳා මාලිගාවට බෝම්බ හෙළු අරන්තලාවේ ඝාතනයන්ට සම්බන්ධ කරුණා අම්මාන් සමග ඇතිකරගත් රහස් ගිවිසුම කුමක්දැයි මේ යටතේ ඔහු ප්‍රශ්න කර සිටී. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමග ඔබේ රහස් ගනුදෙනුව ප්‍රේමදාස මහතාගේ සිව්වන ප්‍රශ්නයයි. හිස්බුල්ලා අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකු බවට කෑ ගැසූ පසු , ඔබේ සහෝදරයාට දෙවන ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් ඔබ ඔහුට ලබාදුන් රහසිගත පොරොන්දුව කුමක්දැයි ප්‍රේමදාස මහතා මින් ප්‍රශ්න කරයි. ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විමසන්නේ රාජපක්ෂ මහතා බලය සදහා වූ පිපාසයෙන් පුරවැසියන් අතර බෙදීම් හා භීතියේ ගිනිදැල් වැපිරීමට හැකිවන්නේ කෙසේදැයි තේරුම්ගත නොහැකි බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතන සැමරුම යෙදුණු ජනවාරි 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ප්‍රතික්ෂේප කිරීම අහම්බයක් යැයි තමා විශ්වාස නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නීතිවිරෝධී පාලනයක් පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට රාජපක්ෂ මහතාගේ හා ඔහුගේ සහයන් ප්‍රතිචාර දැක්වුයේ කෙසේ දැයි මුළුරටම දුටු දින වසරක සංවත්සරය යෙදෙන නොවැම්බර් 16 වැනිදාට මෙවර ජනාධිපතිවරණය යෙදී තිබීම රාජපක්ෂ මහතාගේ ඉරණම විය හැකි බවයි. එම සංවත්සරයේදී රටේ ජනතාව රාජපක්ෂ මහතාගේ බල පිපාසයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව ඔප්පු කරනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.