TNA සහයත් සජිත් ප්‍රේමදාසට

නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් වෙනුවෙන් කැපවෙනවා - දෙමළ ජාතික සන්ධානය

by Staff writer 07-11-2019 | 12:34 PM

COLOMBO ( News 1st ) - එක්සත් නොබෙදුණු සහ බෙදිය නොහැකි භේදයක් නැති දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂවල නායකයින් මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ. ඒ, අනුව ඉලංගෙයි තමිල් අරසු, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊලාම් ජනතා විමුක්ති සංවිධානය යන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ සහය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති. පසුගිය කාලයේ මෙන්ම අනාගත ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති ප්‍රකාශන සළකා බලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. අතුරුදහන්වූවන්ගේ ගැටලු, සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලු, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම සහ පුනුරුත්ථාපනය පත්වන නව ජනාධිපතිවරයා විසින් නිරාකරණය කළ යුතු බව ද නිවේදනයේ දැක්වේ. දමිළ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා පමණක් නොව එය සියලු ජනතාව වෙනුවෙන් කළ යුත්තක් බව ද මෙහි සදහන් ය .