එස්.බී.ගේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරුන් 2ක් කොටු

ගිනිගත්හේන වෙඩි තැබීම: එස්.බී. දිසානායකගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 07-11-2019 | 7:09 AM

COLOMBO ( News 1st ) - ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් භාරයේ තිබූ පිස්තෝල දෙකක් ද සිය භාරයට ගත් බව ය. රාත්‍රී 8.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් කරවනැල්ල සහ ගිනිගත්හේන රෝහල්වල ප්‍රතිකාර ලබයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගේ රථය අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බව ය. එහිදී වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. ඒ, එම ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු තුනක් සොයා ගැනීමත් සමගිනි. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලදැයි කියන වෙඩි තැබීම සම්බන්ධයෙන් කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එම සිදුවීම සත්‍යයක් නම්, ඒ පිළිබඳව අදාළ අංශ වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව ය. නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවයක් ලෙස සැළකීමේ සිය ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙයි.