සජිත්ගේ පිළිතුරෙන් පසු කාශ්‍යප හිමි උපවාසය අත්හරී

MCC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ උපවාසය අවසන්

by Staff writer 06-11-2019 | 7:01 AM

COLOMBO (News 1st) - අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හැර තිබේ.

ඒ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යොමු කළ ලිපියකින් පසුවයි. අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම කිසිවිටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ලිපියක් මගින් පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත. එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ, ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී සිදු කරන සංවාදයකින් පසුව බවයි. තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමේදී ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත. අමෙරිකාව සමග අත්සන් තැබීමට නියමිත එම ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ඊයේ උදෑසන කොළඹදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.