හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යළි රිමාන්ඩ

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 06-11-2019 | 6:09 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 19 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් සැකකරුවන්ට එරෙහිව විමර්ශනය සිදු කරන චෝදනා සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ ස්ථාවරය හා අධිකරණයේ ස්ථාවරය පරස්පර බැවින් එම නඩුව වෙනත් මහේස්ත්‍රාත් අධිකරණයක කැඳවන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා ය. කෙසේ වෙතත්, එම ඉල්ලීමට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විරෝධතා ඉදිරිපත් කර තිබේ. එම විරෝධතා ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නඩුව කොළඹ දෙක අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියෝග කළා ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි.