විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට නිවසක ඝාතනයක්

විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට නිවසකින් පුද්ගල මළ සිරුරක්

by Staff writer 06-11-2019 | 11:07 AM

COLOMBO (News 1st) - කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමට අයත් ධර්මපාල මාවතේ පිහිටි දෙමහල් නිවසකදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ඝාතනය සිදු කළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 9.15 ත් 9.45 ත් අතර කාලයේ බවට පොලීසිය සැක කරයි. තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ හෝමාගම පදිංචිකරුවෙකු වූ මනෝජ් සුදර්ශන නැමැත්තෙකි. දෙදරු පියෙකු වන ඔහුගේ වයස අවුරුදු 49 කි. එම පුද්ගලයා පෞද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි අතර ඝාතනය සිදුව ඇත්තේ ඔහු වාසය කළ කුලී නිවසේ ය. මෙම නිවස පිහිටලා ඇත්තේ කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට ය. මෙතරම් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිවසක මෙම ඝාතනය සිදුව ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණු අතර සිරුර ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. කොම්පඤ්ඤවීදිය පොලීසිය පැවසුවේ ඝාතන සැකකරු සොයාගැනීම සඳහා පරික්ෂණ ක්‍රියාත්මක බව ය.