දේශගුණ විපර්යාසය හමුවේ ලෝකය දැඩි අවදානමක

දේශගුණ විපර්යාසය හමුවේ ලෝකය දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවයි

by Staff writer 06-11-2019 | 7:26 AM

News 1st - දේශගුණ විපර්යාසය හමුවේ ලොව දැඩි අවදානමකට මුහුණ පා සිටින බවට විද්‍යාඥයන් අනතුරු අඟවති.

රටවල් 153 ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 11,000 කගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව කළ පර්යේෂණයකින් හෙළිව ඇත්තේ, ලොව රජයන් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් අවම කිරීමට අසමත්ව ඇති බවයි. දේශගුණ විපර්යාසයේ දැඩි බලපෑම් හමුවේ ලෝක ප්‍රජාවට විඳවීමට සිදුවනු ඇතැයි ද වසර 40 ක දත්ත යොදා ගනිමින් මෙම පරීක්ෂණයේ නිරත වූ විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළහ. ඉකුත් ඔක්තෝබර් මාසය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උෂ්ණත්වයෙන් වැඩිම ඔක්තෝබර් මාසය වූ බව ද එම වාර්තාවේ සඳහන් ය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, පෘථිවියේ උෂ්ණත්ව වෙනස්වීම් මැනීම, ගෝලීය උණුසුම ඉහළයාමේ සැබෑ තර්ජනය වටහාගැනීමට ප්‍රමාණවත් නොවන බවයි. මේ හමුවේ දේශගුණ විපර්යාසයේ බලපෑම නිසි අයුරින් වටහාගැනීමට සත්ත්ව සහ මිනිස් ගහණය, ගෝලීය වන ගහනයේ තුරන්වීම මෙන්ම පොසිල ඉන්ධන දහනය ආදී කරුණු රැසක් අධ්‍යනය කළ බව ඔවුන් පැවසීය. විද්‍යාඥයන් පවසන්නේ, මේ තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත්, පෘථිවිය මත මිනිසුන්ට ජීවත්වීමට නොහැකි ස්ථාන බිහිවනු ඇති බවයි. මේ හේතුවෙන් බලශක්තිය, ස්වභාව ධර්මය, ආහාර, ආර්ථිකය, ජනගහනය, දූෂක කාරක ආදී ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් පාලකයන් කඩිනම් පියවර ගත යුතු බව ද පර්යේෂකයන් පෙන්වා දෙති.