ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද

by Staff writer 05-11-2019 | 8:01 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, අද පස්වරු 2.00ට පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවයි. මේ අතර මෙම සමුළුව සඳහා සහභාගී නොවන ලෙසට සියලු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යැයි හඳුන්වා ගන්නා කණ්ඩායමක්, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහය දීමේ සමුළුවක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවයි. එම ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවත් ඒ සඳහා දායක නොවන ලෙසත් සියලු සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ දැක්වේ. මුදලට සහ වරප්‍රසාදවලට යටවූ කණ්ඩායම් විසින් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.