වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව

ද. අප්‍රිකාවේ පීටර් ස්ටීප් වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

by Staff writer 05-11-2019 | 8:16 AM
COLOMBO (News 1st) : ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් සමත් විය. වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. 2019 ලෝක රග්බි සම්මාන උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණ. මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලිය අවසන් වී පැය 24 ක් ඇතුළත මෙම සම්මාන උළෙල මෙවර සංවිධානය කර තිබීම විශේෂත්වයකි. නවසීලන්තයේ ආර්ඩි සැවීයා, එංගලන්තයේ ටොම් කරි, අමෙරිකාවේ ජෝ ටවුෆේටේ වැනි ප්‍රබල ක්‍රීඩකයින් අභිබවා දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් මෙවර වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගත්තේ ය. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකරගත්තේ 2007 වසරෙන් පසුවයි. 2007 වසරේදී වසරේ ක්‍රීඩකයා සම්මානය දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් හබානා හට හිමි වූ අතර රග්බි සම්මාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු තෙවරක් මෙම සම්මානය දිනාගෙන තිබේ. මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම පුහුණුකරුට හිමි සම්මානය ද දකුණු අප්‍රිකානු පුහුණුකරු රසී ඉරාස්මස්ට හිමි වූ අතර වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය ද ලෝක ශුර දකුණු අප්‍රිකාවට හිමිවීම විශේෂත්වයකි. දකුණු අප්‍රිකාව වසරේ රග්බි කණ්ඩායම බවට පත්වූයේ 2009 වසරින් පසුවයි. මෙවර සම්මාන උළේලේදී වසරේ රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. ස්කාරට් 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වූ අතර 2016 වසරේ දී වසරේ ක්‍රීඩිකාව වූ එංගලන්තය නායිකා සාරා හන්‍ටර්ගෙන් පසුව එංගලන්ත ක්‍රීඩිකාවක මෙම සම්මානය දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. වසරේ නැගී එන රග්බි ක්‍රීඩකයා ලෙස ප්‍රංශයේ රෝමේන් න්ටමැක් සම්මාන දිනා ගත් අතර වසරේ සත් සමාජික රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය ෆිජි රාජ්‍යයේ ජෙරී ට්වායිට හිමිවිය. වසරේ සත් සමාජික රග්බි ක්‍රීඩිකාව ලෙස නවසීලන්තයේ රූබි ටුයි සම්මානය දිනා ගත් අතර ලෝක රග්බි සම්මේලනයේ වසරේ විනිසුරුවරයාට හිමි සම්මානය හිමිවූයේ එංගලන්ත විනිසුරු වේන් බාර්න්ස්ටයි.