තැපැල් ඡන්දයේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

by Staff writer 05-11-2019 | 6:20 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ පළමු දිනය වන ඊයේ දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා සාමකාමීව සිදු වූ මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර පසුගිය 31 සහ පළමු වැනිදා අවසන් විය. එම දිනවල මෙන්ම ඊයේ සහ අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වේ. තැපැල් ඡන්දය පැවැත්වෙන ස්ථාන තුළ කිසිදු අයුරකින් ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝ කිරීමට අවසර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසී ය. කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ, එම ඡායාරූප සමාජ ජාල වෙත මුදා හැරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවයි. මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ලබන සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී ය.