රටවල් 3ක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උග්‍රවෙයි

ලෙබනනය, චිලී සහ ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උග්‍රවෙයි

by Staff writer 04-11-2019 | 9:45 AM
COLOMBO (News 1st) : ලෙබනනය , චිලී සහ ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් මස 17 වනදා ඇරඹි ලෙබනන උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ දූෂණයෙන් සහ අකාර්යක්ෂමභාවයෙන් තොර දේශපාලන ක්‍රමවේදයක් ලබාදෙන ලෙසයි. විරෝධතා හමුවේ ලෙබනන අග්‍රාමාත්‍ය සාද් හරීරි ඉකුත් සතියේ ඉල්ලා අස්වූ නමුත් එක් අයකු නොව ලෙබනනයේ සියලුම දේශපාලන නායකයන් සිය දූරවලින් ඉවත්විය යුතු බව විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. මේ අතර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස ඉල්ලා චිලී රාජ්‍යයේ විරෝධතාකරුවෝ උද්ඝෝෂණවල නිරතව සිටිති. මහජන සේවා සඳහා රජයෙන් ලබාදුන් ආධාර හිඟවීම හමුවේ ඇරඹි මෙම විරෝධතාවලින් මේ වනවිට පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් , බෑග්ඩෑඩ් නුවරට පිවිසෙන් මාවත් අවහිර කරමින් උද්ඝෝෂණවල නිරතව සිටිති. මෙම උද්ඝෝෂණ සඳහා පාසල් සහ විශ්වවිද්‍යාස සිසුන් මෙන්ම ගුරුවරුන් ද එක්ව ඇතැයි සඳහන් ය. විරැකියාව , පොදු සේවා සැපයීමේ හිඟය මෙන්ම අවිධිමත් පාලන ක්‍රියා , ඉරාකයේ උද්ඝෝෂණ හටගැනීමට මුල්විය. ලෝක බැංකුව පෙන්වා දෙන්නේ බොර තෙල්වලින් පොහොසත් රටක් වුවත් ඉරාක වැසියන්ගෙන් 60 % ක ප්‍රතිශතයක් දෛනිකව ඩොලර් හයකට වඩා අඩු මුදලකින් යැපෙන බවයි . උද්ඝෝෂණ ඇරඹි දින සිට මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශවල පහරදීම්වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 250කි.