ඉන්දියාවට එරෙහි 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

ඉන්දියාවට එරෙහි 20යි 20 පළමු තරගයේ ජය බංග්ලාදේශයට

by Staff writer 04-11-2019 | 8:35 AM
COLOMBO (News 1st) : ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශය සමත් විය. ඉන්දීයාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ජය ගත් පළමු 20යි 20 තරගය මෙය වීම විශේෂත්වයකි. ලොව 1000 වැනි පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගය වූ මෙම තරගය ඉන්දියාවේ නවදිල්ලිහි අරූන් ජෙයිට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විය. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 148 කි. ශිකර් ධවාන් ලකුනූ 41ක් රැස් කළේ ය. ශ්‍රෙයාස් අයියර් ලකුණු 22 ක් රැස් කළ අතර රිශාබ් පාන්ට් ලකුණු 27 ක් රැස් කළහ. ශෆියුල් ඉස්ලාම් හා අමිනුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයින් එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 පමණක් දැවී තිබියදීයී. මොහොමඩ් නයිම් ලකුණූ 26 ක් රැස් කළ අතර සෞම්‍ය සර්කර් ලකුණු 39 ක් රැස් කළහ. බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මුශ්ෆිකර් රහීම් සිය පස්වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 43 කදී ලකුණූ 60 ක් රැස් කළේ, හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගිනි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය ලබන 7 වනදා රාජ්කෝට්හි දී පැවැත්වීමට නියමිතයි.