මිනිස් ජාවාරම දැඩිව හෙළා දකිනවා

මිනිස් ජාවාරම දැඩිව හෙළා දකින බව වියට්නාමය නිල වශයෙන් නිවේදනය කරයි

by Staff writer 03-11-2019 | 7:34 AM

COLOMBO (News 1st) - මිනිස් ජාවාරම දැඩිව හෙළා දකින බව වියට්නාම රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ, කන්ටේනරයක් තුළ තිබී හමු වූ සිරුරු 39, වියට්නාම ජාතිකයින්ගේ බවට විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය පොලීසිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. එම අපරාධය සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලොව පුරා රටවලින් සහයෝගය ඉල්ලන බව ද වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිදුවීම බරපතළ මානූෂීය ඛේදවාචකයක් බවයි. පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දා බ්‍රිතානයේ එසෙක්ස් ප්‍රාන්තයේදී කන්ටේනර් රථයක් තුළ තිබී මෙම සිරුරු හමුවිය. බ්‍රිතාන්‍ය පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි කන්ටේනර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණ තවදුරටත් සිදුවන බවයි.