විවාදයකට එන්නැයි සජිත්ගෙන් ගෝඨාභයට යළි ඇරයුම්

ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි සජිත්ගෙන්, ගෝඨාභයට යළි ඇරයුම්

by Staff writer 03-11-2019 | 6:30 PM
COLOMBO (News 1st) : නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද යළි ආරාධානා කර තිබේ. ඒ ලිපියක් යොමු කරමිනි. සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩපිළිවෙළ මහජනතාවට වඩාත් සංවාදශීලිව ගෙන යනු පිණිස ඉකුත් බදාදා තමන් ජාතිය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ අභියෝගයක් කළ ද මේ දක්වා ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. තමුන් කුමන අවස්ථාවක හෝ එම අභියෝගය සඳහා ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් දන්වා තිබේ. අදාළ ලිපියෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ලොව පුරා ජනාධිපති අපේක්ෂකයින් කිසිදු දෙගිඩියාවකින් තොරව තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෘජුව හෝ මැදහත් විවාද කරන බවයි. එවැනි විවාද රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විකාශය කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇතැම් උපදේශකයින් එවැනි ආරාධනාවක් නොලැබුණු බවට ප්‍රකාශ නිකුත් කිරීම, මෙවැනි ලිඛිත ආරාධනයක් කිරීමට හේතුවූ බවයි. ඒ අනුව අදාළ ආරාධනය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකයින් දක්වන ප්‍රතිචාරය පිළිබඳව තමන් ඇතුළු රටේ ජනතාව දැඩි අවධානයෙන් බලා සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.