ස්වාධීන රූපවාහිනියට මැතිවරණ කොමිසමෙන් තහනමක්

ස්වාධීන රූපවාහිනියේ දේශපාලන පසුබිමක් සහිත සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම අත්හිටුවයි

by Staff writer 02-11-2019 | 7:14 PM
COLOMBO (News 1st) : නොවැම්බර් 4 වනදා සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ , එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ යුතු බවයි. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් ය. එසේ තිබියදීත් පසුගිය 30 වනදා විකාශය කළ වැඩ සටහනකින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනියට දැනුම් දී තිබේ.