තැපැල් ඡන්දයට අදාළව පැමිණිලි 2ක්

තැපැල් ඡන්දයට අදාළව පැමිණිලි 2ක්

by Staff writer 02-11-2019 | 7:43 AM

COLOMBO ( News 1st ) - තැපැල් ඡන්දයට අදාළව පැමිණිලි 2ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කැබිතිගොල්ලෑව සහ ගම්පොල පොලිස් බල ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා වන බව ය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ සහ පෙරේදා යන දින දෙක තුළ සිදු කෙරිණි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 6,59,514 කි. පොලීසිය, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ලබන සඳුදා සහ අඟහරුවාදා , තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය.