ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී

එංගලන්තය පරදා ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී

by Staff writer 02-11-2019 | 4:32 PM
COLOMBO (News 1st) : ලොව ශක්තිමත්ම කණ්ඩායම තමන් බව සනාථ කරමින්, දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් ලෝක කුසලාන රග්බි ශූරතාව අද දිනා ගත්තේ ය. ඔවුන් හමුවේ එංගලන්ත කණ්ඩායම පරාජය විය. සිව් වසරකට වරක් පැවැත්වෙන, ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජපානයේ යොකොහාමාහිදී පැවැත්වුණු අතර ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ. ජයග්‍රාහකයින් තරග වැදුණේ වෙබ් එලිස් කුසලානය වෙනුවෙනි. සති 6 කට අධික කාලයක්, ලොව ප්‍රමුඛ පෙළේ රග්බි කණ්ඩායම් 20 ක් තරග කිරීමෙන් පසු, අවසන් මහා තරගයට පිවිසුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි. ඔවුන් ලෝක කුසලාන අවසන් තරගයකදී හමුවු දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් විය. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ, දකුණු අප්‍රිකාවයි. පළමු අර්ධය අවසන් වන විට දකුණු අප්‍රිකාව ලකුණු 12 ට 6 ක් ලෙස පෙරමුණේ පසු විය. දෙවැනි අර්ධයේදී දකුණු අප්‍රිකාව තවත් ලකුණු 20 ක් රැස් කළේ ය. එංගලන්ත ක්‍රීඩකයින්ට එම අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 6 ක් පමණි. ඒ අනුව ලකුණු 32 ට 12 ක් ලෙස ජය තහවුරු කර ගත් දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් රග්බි ලෝක ශූරයින් බවට පත් විය. ජයග්‍රාහී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 6 කින් ලකුණු රැස් කළේ ය. දකුණු අප්‍රිකාව පළමු වරට රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ 1995 වසරේදීයි. 2007 වසරේදී ද දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනාගත් අතර, එවර ඔවුන්ට පරාජය වුයේ එංගලන්තය වීම ද විශේෂත්වයකි. ඉන් පසුව පැවැති තරගාවලි දෙකේදීම නවසීලන්තයට ලෝක රග්බි කිරුළ හිමිවිය.