MCC ගිවිසුම අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

MCC ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 01-11-2019 | 6:01 PM
COLOMBO (News 1st) : ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ආයතනය ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් මෙරටට ලබාදීමට සූදානම් වීම ගැන මේ වනවිට ජනාධිපතිවරණ වේදිකාවේ පුළුල් සංවාදයක් නිර්මාණය වෙමින් තිබේ. පසුගිය දා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ ප්‍රදානය ලබා ගැනීම සඳහා වන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේ ය. එම්.සී.සී ආයතනය හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුව ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇතැයි ඇමරිකානු තානාපති කාර්යාලය නික්තු කළ නිවේදනයේ සඳහන් කර තිබේ. තානාපති කාර්යාලය පවසන්නේ ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම්.සී.සී. ආයතනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවයි. සමාලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට, ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීමට අදාළ සැළසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ප්‍රදාන අධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයින් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් සෘජු ප්‍රතිලාභ ලබන අතර ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවයි. කෙසේවෙතත් මේ ගිවිසුමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණ. නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ගොනුකළ පෙතසමෙන් එම්.සී.සී ගිවිසුමට අමතරය ඇක්සා සහ සෝෆා ගිවිසුම් ද අත්සන් කිරීම වළක්වන්නැයි ඉල්ලා තිබේ. පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කඅර ඇත්තේ නීතිපතිවරයායි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ කටයුතු සහ මුදල් ඇමතිවරුන්ද එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මේ පෙත්සමින් පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ ගිවිසුම් අත්සන් කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට සහ ඒකීය භාවයට තර්ජනයක් විය හැකි බවයි. දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම අලුත් දෙයක් නොවෙයි. නමුත් ඒවා සිද්ධවෙන අතරතුර සිදුවන්නේ රට විකිණෙමින් තිබීමයි. තිත්ත ඇත්ත ද එයයි. එම්.සී.සී. කරුණ සැලකීමේදී කුඩා දරුවෙකුට පවා අවබෝධ වන කරුණක් වන්නේ මෙය සීමිත පිරිසකට පමණක් අවශ්‍ය දෙයක් බවයි. තමන් විසින්ම පක්ෂ කිහිපයකට බෙදුණු හොරු කණ්ඩායමක් අපේ රටේ ඉතා වැදගත් දේපොළ විකුණාගෙන කන ආකාරය ජනතාවට අවාසනාවන්ත ලෙස බලා සිටීමට සිදුව තිබේ. තවත් රටක තානාපති කාර්යාලයක් හෝ මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාව විකුණන්න පුළුවන් කියා සිතීමත් නින්දාවට කරුණක් නොවන්නේ ද? නමුත් විකුණා දැමීමට අවශ්‍ය නම් විකුණා දැමිය යුත්තේ රට විකුණන දේශපාලඥයින් නොවේ ද?