ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියා 20යි 20 අවසන් සටන අදයි

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 අවසන් තරගය අදයි - සජීව විකාශය සිරස TV ඔස්සේ

by Staff writer 01-11-2019 | 11:38 AM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3වන සහ අවසන් තරගය මෙල්බන්හිදී අද පැවැත්වේ.

නිමා වූ තරග දෙකම ජයගත් ඔස්ට්‍රේලියාව මේ වනවිට තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටී. ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙම තරගයෙන් ඉවත්වීම හේතුවෙන් බෙන් මැක්ඩර්මට් අංක 4 පිතිකරු ලෙස කැඳවීමට ඉඩ ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් ය. එම කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ නිමා වූ දෙවැනි තරගයට එක් වූ අනෙකුත් ක්‍රීඩකයින් මෙම තරගයට එක්වනු ඇති බවයි. මේ අතර අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. නිමා වූ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදු කර ඇත. එනම්, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ හා කසුන් රාජිත වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු, නිරෝශන් දික්වැල්ල සහ ඉසුරු උදාන කණ්ඩායමට කැඳවීමයි. කෙසේ නමුත් පකිස්ථානයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් භානුක රාජපක්ෂ එදින තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රිකට්ලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 1.40ට ආරම්භවීමට නියමිත අතර එය සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.