රටක් ජයග්‍රහණය කරා මිස පරාජය කරා ගමන් නොකළ යුතුයි

රටක් ජයග්‍රහණය කරා මිස පරාජය කරා ගමන් නොකළ යුතුයි - ජනපති

by Staff writer 01-11-2019 | 5:20 PM
COLOMBO (News 1st) : රටක් ජයග්‍රහණය කරා මිස කිසිදු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, අද දවසේ ඉටු කිරීමට නොහැකි වූ බොහෝ දේ හෙට දවසේ රට වෙනුවෙන් ඉටුවිය යුතු බවයි. රට වශයෙන් ඉටුකළ කාර්යභාරයට ප්‍රමුඛත්වය ලබාදුන්නා සේම, පොළොන්නරුවට සංවර්ධනයේ සාධාරණයක් ඉටු කිරීමට තමා ගත් වෙහෙස අද මල්ඵල ගැන්වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සමග රට සහ ජනතාව වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළඟා වීමට බොහෝ බාධාවන් මතු බවයි. තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වලට එකඟවන පිරිසක් වගකීම් දැරුවා නම් පසුගිය පස්වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයක් ඉටු කිරීමට හැකිව තිබු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන යටතේ සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.