තාජුඩීන් ඝාතනය: තුන්වන සැකකරුට වරෙන්තු

වසීම් තාජුඩීන් ඝාතනයේ තුන්වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

by Staff writer 31-10-2019 | 4:06 PM

COLOMBO ( News 1st ) - රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ තුන්වන සැකකාර කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය වරෙන්තු නිකුත් කළා ය.

එම නඩුව අද කැඳ වූ අවස්ථාවේ, ආනන්ද සමරසේකර මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන පෙබරවාරි 20 වනදා දක්වා කල් තැබීමට ද නියෝග කළා ය. එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති කොළඹ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ශල්‍යකර්මයකට ලක්කර ඇති බැවින්, ඔහු අද අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය. එම සැකකරුවන් දෙදෙනාටම එරෙහිව සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා ගොනු කර නඩු පවරා ඇතත් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව තව දුරටත් විමර්ශන සිදු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.