by Staff writer 31-10-2019 | 12:29 PM
COLOMBO (News 1st): ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දිනයේ සාමකාමීව සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා රාජ්‍ය ආයතනවල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වූ බව ය.
අද දිනයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට හෙට දිනයේ ඒ සඳහා අවස්ථාව ඇති බව සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී ය.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව 6,59,514කි.
මේ අතර මැතිවරණ නිරීක්ෂණයින් පවසන්නේ, තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමකාමීව සිදු වූ බවයි.
මේ අතර කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයේ පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හොරොව්පතානේ සිට ගුරුවරුන් පිරිසක් පෞද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි රියදුරා සහ සහායකයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහා 1982 ජනාධිපතිවරණ පනත ප්‍රකාරව ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන කරා පෞද්ගලික වාහනවලින් ප්‍රවාහනය කිරීම වරදක් බවයි.
සැකකරුවන් දෙදෙනා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
සමස්තයක් ලෙස ගත්කළ තැපැල් ඡන්දය ආශ්‍රිතව සාමය කඩ කිරීමේ සිද්ධීන් කිසිවක් වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.