ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලන ප්‍රවර්ධන තහනම්

සක්‍රීය සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලන ක්‍රියාවලීන්හි යෙදීම තහනම් - ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 30-10-2019 | 2:29 PM

COLOMBO ( News 1st ) - සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට, පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරතවීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක අංශ සාමාජිකයින්, පොලිස් නිලධාරින් ස්වකීය නිල ඇදුමින් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල යෙදීමෙන් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ය. සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කාර්යයන්හි නිරතවීම හා එසේ කිරීම සඳහා ස්වකීය ප්‍රකාශ හා ඡායාරූප භාවිත කිරීමට ඉඩදීම දඩුවම් ලැබිය හැකි වරදකි. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.