මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කෙරේ

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කෙරේ

by Staff writer 30-10-2019 | 6:57 PM

COLOMBO (News 1st) - මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කර තිබේ.

මෙම උත්සවය පැවැත්වූයේ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද වැඩමකර සිටියහ. 1860 වසරේ වසංගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ආරම්භ කරන ලද මහනුවර රෝහල 1946 වසරේ ශික්ෂණ රෝහලක් ලෙස නම් කෙරුණු අතර අද වන විට සියලුම විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මකය. මෙම රෝහලේ අවයව බද්ධ කිරීමේ කටයුතු ඇතුළු සැත්කම් රැසක් සිදු කෙරන අතර ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය ද සිදු කරනු ලැබුවේ මහනුවර රෝහලේදීයි. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු 5100 ක් ඉක්මවන සේවක මණ්ඩලයකගෙන් සමන්විත මෙහි රටපුරා වෙසෙන තුන්දහසකට ආසන්න රෝගින් ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දෛනිකව රෝගීන් 4000 ඉක්මවා ප්‍රතිකාරවලට පැමිණෙනු ඇති.