බ්‍රිතාන්‍යයේ හදිසි මහා මැතිවරණයක් කැඳවයි

බ්‍රිතාන්‍යය අගමැති දෙසැම්බර් 12 වැනිදා හදිසි මහා මැතිවරණයක් කැඳවයි

by Staff writer 30-10-2019 | 7:54 AM

COLOMBO ( News 1st ) - බ්‍රිතාන්‍යය ලබන දෙසැම්බර් මස 12 වනදා මහමැතිවරණයක් පැවැත්වීමට සූදානම් වේ.

ඒ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්ගේ කඩිනම් මැතිවරණයක් පැවැත්වීමේ තීරණයට එකඟත්වය පල කිරීමෙන් පසුව ය. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය. කෙසේ වෙතත් මීට පෙර කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණි. බ්‍රිතාන්‍යයේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ 1923 වසරෙන් පසු ප්‍රථම වරට ය. මැතිවරණයක් පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලය මගින් මේ සතිය තුළ අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සති 5ක කාලයක් වෙන් කෙරේ. අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සඳහන් කළේ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ බ්‍රිතාන්‍යයේ අනාගතය සම්බන්ධයෙන් ජනතාවට තෝරාගැනීමට අවස්ථාවක් දිය යුතු බව ය. මෙම මැතිවරණයෙන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අපහසුවකින් තොරව ඉදිරියට ගෙන යාමට තමන්ට අවස්ථාව හිමිවනු ඇතැයි බෝරිස් ජොන්සන් අපේක්ෂා කරයි. මීට පෙර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ, හෙට වුවත් පසුව එය ලබන ජනවාරි 31 වනදා දක්වා කල් ගියේ ය. මෙම මැතිවරණය අගනා අවස්ථාවක් බව පැවසූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් බ්‍රිතාන්‍ය විශාල පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් මැතිවරණයට හොඳින් සූදානම් වන බව සඳහන් කළේ ය. කෙසේ වෙතත් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැවති ජන්ද විමසීමට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියයට වැඩි සංඛ්‍යාවක් සහභාගී නොවු අතර, ජෙරමි කෝබින් ඇතුළු කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් 127ක් මැතිවරණයක් පැවැත්වීමට සහය පළ කරමින් ජන්දය ප්‍රකාශ කළේ ය .