ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 30-10-2019 | 9:05 AM

COLOMBO ( News 1st ) - බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඈතට ගමන් කරන බැවින් අද සිට එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අඩු පීඩන කලාපය මේ වනවිට දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින බව ය. කෙසේ වෙතත් අද දිනයේ යාපනය මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 - 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 16ක වාන් දොරටු විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ජලාශ වාන් දමන බව ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව 34%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඇය සඳහන් කළාය. මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ක්‍රියා කළේය. ඒ, අධික වර්ෂාවත් සමග මතුව ඇති ජල ගැලීම් සහ නායයාම් අවදානම හේතුවෙනි.