අයහපත් කාලගුණයෙන් දකුණු පළාතේ පාසල් කිහිපයක් වැසේ

හම්බන්තොට හා මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබේ 

by Staff writer 29-10-2019 | 5:09 PM

COLOMBO News 1st: හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙන බව, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

ඒ, අධික වර්ෂාවත් සමග මතුව ඇති ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙන් ය. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙනුු ඇත. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. ගාල්ල අවට මුහුදු ප්‍රදේශය හරහා හමාගිය තද සුළගකින් දොඩන්දූව ධීවර වරායේ ආරක්ෂිත ගල්වැටියට හානි සිදුව තිබේ. ධීවරයින් පවසන්නේ, යාත්‍රා 3කට ද හානි සිදුව ඇති බව ය. ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. කිරම ඔය පිටාර ගැලීම නිසා තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගය ගොඩවානගොඩ ප්‍රදේශය ජලයෙන් යටවිය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් අද අලුයම විවෘත කර ඇත. ඉන් තත්පරයට ඝන අඩි 3628ක ධාරිතාවක් කලා ඔයට මුදා හැරේ. මේ හේතුවෙන් රාජාංගනය ජලාශයේ දකුණු ඉවුර සහ වම් ඉවුර යා කෙරෙන ගිරිබාව මාර්ගය ජලයෙන් යටව තිබේ. වර්ෂාවත් සමග හලාවත මයික්කුලම හා සවරාන ප්‍රදේශයේ නිවාස 100ක් පමණ ජලයෙන් යට විය. හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ, ජල ගැලීම් නිසා පවුල් 900කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය. සති දෙකක පමණ සිට ජලය බැස නොයෑම නිසා විවිධ රෝග පැතිරයාමේ අවධානමක් ද මතුව තිබේ. වැලිමඩ මොරගොල්ල ගල්ගේවත්ත ස්ථාන කිහිපයක් නායගොස් තිබේ. පවුල් 5 කට අයත් පුද්ගලයින් 32කු මේ වන විට තාවකාලික රැදවුම් ස්ථාන වෙත යොමු කර තිබේ.