ගෝඨාභයට සහය දක්වන පක්ෂ නායක හමුවක් අද

පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ නායක හමුවක් අද

by Staff writer 29-10-2019 | 7:17 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතයන්ගේ හමුවක් අද පැවැත්වේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී එම සාකච්ඡාව අද රාත්‍රී 7.00 ට පැවැත්වෙනු ඇති. මෙහිදී ලබන 31 වන දා අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙකු සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය , ජාතික නිදහස් පෙරමුණ , කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකරගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලකුණින් ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.