පළාත් 3 කට මිලිමීටර් 100 ට වැඩි වැසි

දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි වැසි

by Staff writer 29-10-2019 | 7:10 AM

COLOMBO (News 1st) - දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද දිනයේ මිලිමීටර් 100 - 150 ත් අතර වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළතේ ඇතැම් දිස්ත්‍රික්කවල මුහුද රළු වීමත් සමග මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ අවදානමක් මතුව තිබේ. මෙසේ අවදානමට ලක්ව ඇත්තේ, ගාල්ල, මාතර, හම්බන්තොට යන ප්‍රදේශයි. ඉන් වැඩිම බලපෑම ගාල්ල ප්‍රදේශයට එල්ල වී ඇති අතර ගාල්ල අම්බලන්ගොඩ සමුද්‍ර මාවතට මුහුදු රළ පැමිණීමත් සමග හානි සිදුවි තිබුණි. මේ හේතුවෙන් එම මාර්ගයේ ඇවිදින මංතීරු සියල්ලම පාහේ කැඩී ගොස් ඇති අතර මාර්ගයේ වැලි ඉවත් කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කෙරේ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩු වීමක් දක්නට ලැබුණු බව ද අප වාර්තාකරු පැවසුවේ ය. මේ අතර එක්දින ධීවර යාත්‍රා සහ කුඩා ධීවර යාත්‍රා අද දිනයේ මුහුදු යෑමෙන් වලකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, බෙංගාල මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි.