වලක සිරව සිටි 'සුජිත්' ජීවිතක්ෂයට

තමිල්නාඩුහි ගැඹුරු වලක සිරව සිටි 'සුජිත් විල්සන්' දරුවා ජීවිතක්ෂයට

by Staff writer 29-10-2019 | 7:02 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඔහු ඉකුත් සිකුරාදා සවස 5.30 ට පමණ වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද මෙමවලට වැටුනේ සිය මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියදීයි. පළමුව අඩි 26 ක පමණ ගැඹුරක සිරව සිටි සුජිත්, කඹයක් යොදාගනිමින් එළියට ගැනීමට දැරූ ප්‍රයත්න අතරතුර අඩි 70 ක් පමණ ගැඹුරට වැටුණි. දරුවා මුදාගැනීමට විශාල මෙහෙයුමක් අරඹන විට ඔහු එම වලෙහි අඩි 88 ක පමණ ගැඹුරක සිරව සිටි බව සඳහන් විය. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, වල තුළ සිරව සිටියදී මියගිය දරුවාගේ සිරුරෙන් දුඟඳ හැමීම හමුවේ ඔහු මියගොස් ඇතැයි තහවුරු කරගත් බවයි. දරුවාගේ සිරුර හමුවීමෙන් පසු ඔහු මුදාගැනීමට වෙනත් වලක් හෑරීමේ ප්‍රයත්න නතර කළ බව ද ඉන්දීය බලධාරීන් සඳහන් කළහ. මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 82 ක් ඉක්මගොස් තිබූ අතර දරුවා මුදාගැනීමට තවත් පැය 12 ක කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් කියා සිටියා. දරුවා සිරව සිටි වල පිහිටි භූමිය පාෂාණමය භූමියක් වීම හමුවේ කැණීම් කටයුතු ඉතා දුෂ්කර වූ බවත්, දරුවාගේ ජීවිතයට හානි නොවන පරිදි කැණීම් කල යුතු බැවින් එම කාර්යය සෙමින් සිදුකරන බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කලා. ඔවුන් අපේක්ෂා කලේ අඩි 98 ක වලක් හෑරීමෙන් පසු, දරුවා වැටී සිටි වලට සමාන්තර උමඟක් හෑරීමෙන් දරුවා මුදාගැනීමටයි. දරුවාට ස්වසනය කිරීම සඳහා ඔක්සිජන් ලබාදුන් බව ද ඉන්දීය බලධාරීන් පැවසීය. කෙසේ වෙතත් ඉන්දීය ජාතික ආපදා මුදාගැනීමේ බලකාය කැඳවීමට දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 9 ක් ගත වූ බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ක්‍රියා කළ ආකාරයට විවේචන එල්ලවේ. වගාජලය ලබාගැනීම සඳහා කණින ලද මෙවැනි ළිඳක් සිඳී ගිය පසු ගොවීන් එම ළිඳ අත්හැර දමන අතර යළි ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් එම ළිඳට දැමූ පී.වී.සී නළය ද ඉවතට ගනු ලබිණි. මෙවැනි වලවල් වසා දැමීමේ උපදෙස් මාලාවක් මෙතෙක් නිකුත් කර නැති අතර ගොවීන් සිතන්නේ වැඩිහිටියන් පමණක් සිටින වගා බිම්වල ඇති මෙවැනි ළිංවලින් ජීවිත හානි සිදුවීමේ අවදානමක් නැති බවයි. ජලය ලබා ගැනීමේ අරමුණින් හාරන ලද එවැනි ගැඹුර සහිත වලවල් දහස් ගණනක් ඉන්දියාවේ පවතින අතර ඒවාට වැටීමෙන් වාර්ෂිකව දරුවන් විශාල සංඛ්‍යාවක් මියයන බව සඳහන් ය. බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුජිත් විල්සන් නම් දෙහැවිරිදි මේ දරුවාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. වලතුළ සිරව සිටින දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ප්‍රයත්න දරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර සඳහන් කළේ ය. රාහුල් ගාන්ධි, කමල් හසන් සහ රජිනිකාන්ත් ඇතුළු ඉන්දීය දේශපාලඥයන් රැසක් ද මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර තිබුණි.