වැඩි මිලට ගෑස් අලෙවිකරුවන් ගැන 1977 ට දැනුම් දෙන්න

ගෑස් හිඟයත් සමග වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම

by Staff writer 29-10-2019 | 10:57 AM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා පැවසුවේ, වැඩි මිලට ගෑස් විකුණු වෙළෙඳුන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. ඒ අනුව 1977 කෙටි දුරකතන අංකයට එම පැමිණිලි ගොනු කළ හැකි බව එම අධිකාරිය පවසයි. මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය දින කිහිපයකින් මගහැරී යනු ඇතැයි ගෑස් සමාගම් පවසයි. ලිට්‍රෝ සමාගමේ අලෙවි හා වෙළෙඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසුවේ, දැනට ගෑස් මෙට්‍රික් ටොන් 4000 ක් තම ආයතනය සතුව පවතින අතර තව ත් 4000 ක ප්‍රමාණයක් කඩිනමින් ආනයනය කරන බවයි. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ, ගෑස් රැගෙන පැමිණි නෞකාවක් කොළඹ වරායට පැමිණි බවයි.