රංජන්ගෙන් ගෝඨාභයට ප්‍රශ්න පත්‍රයක්

රංජන්ගෙන් ගෝඨාභයට ප්‍රශ්න පත්‍රයක්

by Staff writer 28-10-2019 | 10:50 PM

COLOMBO ( News 1st ) - රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රශ්න කිහිපයක් යොමුකර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, විවෘත විවාදයකට පැමිණීමට නොහැකි නම් ජනාතවට ඇති මේ ප්‍රශ්ණවලට රාජපක්ෂ මහතා පිළිතුරු දිය යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අසන ප්‍රශ්ණ රන්ජන් රාමනායක මහතා අද මාධ්‍යයට නිකුත් කර තිබුණි. එම ප්‍රශ්ණ කිහිපය නම්, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරයේ ඉදිකිරීම් සඳහා භාවිත කළ රුපියල් මිලියන 9.1 මුදලින් රජය වෙත ගෙවීමට ඇති ඉතිරි මුදල ගෙවන්නේ කවදාද? ෂැංග්‍රිලා හෝටලය සින්නකරව පවරාදෙමින් ලබාගත් ඩොලර් බිලියන 5ක කොමිස් මුදල යොදා තංගල්ල බේ හෝටලය මිලදී ගත් බවට නැගෙන චෝදනා පිළිගන්නේද? මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගේ නම් අනාවරණ නොකරන්නේ ඇයි? ප්‍රගීත් එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන් පැහැරගැනීම් හා හිංසනයට ලක්කිරීමේ සිද්ධීන් ගැන කිසිදු තොරතුරක් නොදන්නේද? සුදු වෑන් යොදාගනිමින් ව්‍යාපාරිකයින් හා ආරක්ෂක නිලධාරීන් පැහැරගැනීමේ සිදුවීම් ගැන තොරතුරු හෙළි නොකරන්නේ ඇයි? අපි වෙනුවෙන් අපි රණවිරු සුබසාධන අරමුදලේ අයවැය විධිමත් විගණනයකට ලක්නොවීම ගැන අදහස කුමක්ද? රතුපස්වල විරෝධතා අතුරතුර වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එවක දඩුවම් ලබානොදුන්නේ ඇයි? තවුහිද් ජමාත් සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ පිහිටි ඉඩමක් ලබාදීම හා ආරක්ෂක අමාත්‍යංශයෙන් දීමනා ලබාදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ හා කෙහෙලිය රඹුක්වැල්ල විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා වලදී පිළිගත් බැවින්, ප්‍රහාරයේ වගකීම ඔබටද පැවරෙන බව පිළිගන්නේද ? දියත උයනේ මින්මැදුර පවත්වාගෙන ගිය ගාමිණි පතිරණ මහතාගේ වියදමින් මෝරුන් ඇති කිරීම සඳහා ටැංකියක් ඉදි කරගැනීම අල්ලසක් නොවන්නේද? යුද සමයේදී මානසික ආතතිය යැයි පවසා රටහැර යාම සම්බන්ධයෙන් මහජනතාවට කරුණු දැක්විය යුතු නොවන්නේද?