"සුජිත් බේරාගනිමු"

තමිල්නාඩුවේ අඩි 600 ක් ගැඹුරු වළකට වැටුණු සුජිත් බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්

by Staff writer 27-10-2019 | 10:54 AM

News 1st - ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ වළකට වැටුණු 2 හැවිරිදි දරුවෙකු බේරාගැනීමට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

පෙරේදා පස්වරු 5.30 ට පමණ දරුවා එලෙස වැටී තිබුණේ, වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම වෙනුවෙන් හාරන ලද වළකටයි. ඒ වන විට අඩි 70 ක පමණ ගැඹුරක දරුවා සිරවී සිටි. ඔහු බේරාගැනීමට ඉන්දියාවේ සියලු අංශ එක් ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එහෙත් මේ වන විට දරුවා අඩි 100 ක් පමණ දක්වා වූ ගැඹුරට වැටී ඇත්තේ ඔහු බේරාගැනීම සඳහා වළ කැනීමේදීයි. මේ වන විට ලණුවක ආධාරයෙන් වළ තුළට යැවූ යන්ත්‍ර මගින් ඔක්සිජන් ලබාදී ඇත. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සියලු නිලධාරීන් එම ස්ථානයට රැස්ව සිටින්නේ 2 හැවිරිදි සුජිත් විල්සන් බේරාගැනීමේ අරමුණිනි. රජයේ සැලසුම වී ඇත්තේ දරුවා වැටුණු වළේ සිට අඩි 3 ක් පමණ ඈතින් අඩි 110 ක් පමණ ගැඹුරු වළක් කැපීමයි. ඒ සඳහා පැය 4 ක පමණ කාලයක් ගතවනු ඇති. අනතුරුව එම වළවල් දෙක යාකොට උමගක් තනා ගලවා ගැනීමේ නිලධාරීන් තිදෙනෙකු ඒ තුළින් යවා දරුවා බේරාගැනීමට අපේක්ෂා කෙරෙනු ඇති. ඉන්දීය මාධ්‍ය ඔස්සේ දරුවා බේරාගැනීමේ මෙහෙයුම සජීවිව විකාශය කෙරෙන්නේ සුජිත් බේරාගනිමු යනුවෙන් ලොව පුරා ජනතාව එකම ප්‍රාර්ථනයක සිටියදීයි. මීට වසර 5 කට පමණ පෙර ප්‍රදේශයේ ජනතාව එම වළ හාරා ඇත්තේ වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමේ අරමුණිනි. එහෙත් අඩි 600 ක් පමණ ගැඹුරට එය හෑරුව ද ජල බිඳුවක් හෝ ලබාගැනීමට හැකි වී නැත. ජලය සොයා ජනතාව හැරූ එවැනි වළවල් දහස් ගණනක් ඉන්දියාවේ පවති. එම වළවල්වලට වැටී වාර්ෂිකව දරුවන් සිය ගණනක් මිය යාම ඉන්දියාවට සුලබ අත්දැකීමක් වුවත් එය වැළැක්වීමට කිසිදු ආණ්ඩුවක් නිසි පියවර නොගැනීම කනගාටුවට කරුණක් ය.