ජවිපෙ නගන චෝදනා අසත්‍යයි - ජනාධිපති කාර්යාලය

ජවිපෙ නගන චෝදනා අසත්‍යයි - ජනාධිපති කාර්යාලය

by Staff writer 27-10-2019 | 9:17 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන්කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා නගන චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය නිකු කළ නිවේදනයක දැක්වෙන්නේ ඉකුත් 25 වන දා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමකින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇතැයි විජිත හේරත් මහතා සඳහන් කර ඇති බවයි. ධූරය දැරූ හෝ දරන කිසිදු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ ජනාධිපති කාර්යාලයට බවත් එම කාර්යාලය අවධාරණය කර තිබේ. නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යය සාධන බලකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බවයි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිදු ආකාරයකින් මුදල් වෙන් නොකළ බවත් මෙවන් ද්වේශසහගත චෝදනා තරයේ පතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.