ලීවලින් නිර්මාණය කළ ඡන්ද පෙට්ටි සීමා කෙරේ

ජනාධිපතිවරණයට ලීවලින් නිර්මාණය කළ ඡන්ද පෙට්ටි සීමා කෙරේ

by Staff writer 27-10-2019 | 7:12 AM

COLOMBO (News 1st) - මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ලීවලින් නිර්මාණය කළ ඡන්ද පෙට්ටි භාවිතය සීමා කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඡන්ද 400 ට අඩු ඡන්ද මධ්‍යස්ථානවල භාවිතයට පමණක් ලීවලින් නිර්මාණය කළ ඡන්ද පෙට්ටි යොදා ගන්නා බවයි. එවැනි ඡන්ද මධ්‍යස්ථාන පවතින්නේ 340 ක් පමණක් බව ද ඔහු පැවසුවේ ය. ඒ අනුව මෙවර මැතිවරණය සඳහා හාඩ් බෝඩ්වලින් සකස් කළ ඡන්ද පෙට්ටි 10,000 ක් යොදා ගැනීමට නියමිතයි. ඡන්ද 800, 1500 සහ 2500 යන ඛාණ්ඩ තුනක් යටතේ මෙම ඡන්ද පෙට්ටි සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. කෙසේ වෙතත් උතුරු, නැගෙනහිර හා උතුරුමැද පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන සඳහා මීට පෙර මිලදී ගෙන තිබූ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගැනීමට නියමිත බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.