මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවතට: කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා - අනුර කුමාර

by Staff writer 26-10-2019 | 11:11 AM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්විය.

ඒ, කොළඹ පදනම් ආයතනයේදීය. එම අවස්ථාවට පක්ෂ නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ, අනුර සමග රට හදන හැටි යන්න ලෙසයි. එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන බවය. ඒ සඳහා ඔවුන් ප්‍රතිසංස්කරණ කිහිපයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබුණේ මෙසෙය. 1 - අවුරුදු 5කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කරනවා. 2 - හිටපු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ ආර්යාවන් මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරනවා. 3 - කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා (ඇමතිවරු 30යි නියෝජ්‍ය ඇමතිවරු 30යි). 4 - රාජ්‍ය අමාත්‍ය ධූර කැබිනට් නොවන අමාත්‍ය ධූර වැනි කිසිඳු වර්ගයේ අමාත්‍ය ධූරයක් යළි ඇති කිරීමට දෙන්නේ නෑ. 5 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අප රටට ඔරොත්තු නොදෙන වාහන බලපත්‍රය කප්පාදු කරනවා. 6 - ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරනවා. 7 - රටපුරා ගොඩනගා තිබෙන ජනාධිපති මන්දිර එම ප්‍රදේශවලට උචිත වනපරිදි සංචාරක හෝටල්, සංස්කෘතික මධ්‍යස්ථාන, පුස්තකාල බවට පරිවර්තනය කරනවා. 8 - සොරකම් කර එක්රැස් කර තිබෙන සියලු මහජන ධනය මහජනතාවට ප්‍රතිලාභ දීම සඳහා යළි පවරා ගන්නවා මේ අතර අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, මහජන ආරක්ෂාවේ ප්‍රශ්නය විසඳීමට ජෙනරාල්ලා අවශ්‍ය නොවන බවත් එය ජෙනරාල්ලාගේ කාර්යභාරයක් නොව දේශපාලන කාර්යභාරයක් බව ය. කිසිඳු අන්තවාදයක් රට තුළ බිහි වීමට ඉඩ නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. නව සංවර්ධන මාවතකට රට යොමු කරන බවත් එය කොන්ක්‍රීට් වනාන්තරයක් නොව, ජනාවගේ ජන ජීවිතය සමග ගැට ගැසුණු සංවර්ධනයක් වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.