මහ මැතිවරණයක් කැඳවන්නැයි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලයි

දෙසැම්බර් 12 මහ මැතිවරණයක් කැඳවන්නැයි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලයි

by Staff writer 25-10-2019 | 7:43 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන දෙසැම්බර් 12 වන දා පැවැත්වීමට සහය දෙන්නැයි අගමැති බොරිස් ජොන්සන් ඉල්ලීමක් කර තිබේ. ඒ, එරට විපක්ෂ නායක ජෙරමි කොබින් වෙත ලිපියක් යොමු කරමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන 31 වන දා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමට අගමැතිවරයා දියත් කළ සැලසුම අසාර්ථක බව එමගින් ඔහු පිළිගෙන ඇති බව ය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය අනුමත කිරීමට පාර්ලිමේන්තුවට වැඩි කාලයක් ලබා දීමට තමන් සූදානම් බව විපක්ෂ නායකවරයාට යැවූ එම ලිපියෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා අවධාරණය කරයි. යුරෝපා සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව සිය තීරණය ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා සිය සහය නොලැබෙන බව ය. මේ අතර දෙසැම්බර් 12 වන දා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.