විරෝධතාවේ නිරත සරසවි සිසුන් 25ක් අත්අඩංගුවට

විරෝධතාවේ නිරත සරසවි සිසුන් 25ක් අත්අඩංගුවට

by Staff writer 24-10-2019 | 6:03 PM
COLOMBO (News 1st) : කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ පැවැත්වූ සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එහිදී විරෝධතාවයේ නිරත වූ සිසුන් 25 දෙනෙකු සහ ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගත් බවයි. ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ජනාධිපතිවරණ පනත ප්‍රකාරව තහනම් පෙළපාලියක නිරතවීම යන වැරදි මත ඔවුන් අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. එම සිසුන් පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් පැවසුවේ, මහපොළ ශිෂ්‍යාධාර දීමනාව නිසි පරිදි ලබා දෙන්නැයි ඉල්ලා සිසුන් මෙම විරෝධතාව කළ බවයි. මේ අතර විරෝධතාව හේතුවෙන් අද පස්වරුවේ කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් ද හටගැනිණ.