බදු කිහිපයක් අහෝසියි: සුපිරි වාහන බද්දෙත් වෙනසක්

බදු කිහිපයක් අහෝසියි: සුපිරි වාහන බද්දෙත් වෙනසක්

by Staff writer 23-10-2019 | 10:44 PM

COLOMBO ( News 1st ) - මුදල් අමාත්‍යාංශය අද නව බදු සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව වාහන ගෙන්වීමේදී සුඛෝපභෝගී බද්ද එන්ජින් ධාරිතාව මත වෙනුවට වාහන වර්ගය මත ප්‍රතිශතයක් ලෙස අය කෙරේ. මීට අමතරව 2018 වසරේ අංක 35 දරණ මුදල් පනතින් හඳුන්වා දුන් කාබන් බද්ද 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. විදෙස් රටවලින් ක්‍රෙඩිට් හා ඩෙබෙට් කාඩ් මගින් විදේශ විනිමය මගින් කරන වාණිජ ගනුදෙනුවලදී සියයට 3.5 ක ගාස්තුවක් අය කිරීමට නියමිත ය. එය අය කරන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. රුපියල් මිලියන 25ට අඩු බද්ධ නිවාස වැට් බද්දෙන් සම්පූර්ණ නිදහස් කිරීමට යෝජනා කර තිබේ. ගෙවිය යුතු මාසයේ 15 වන දිනයේ දැනට වැට් බදු ගෙවිය යුතු අතර මුදල් අමාත්‍යවරයා අද යෝජනා කළේ, එම දිනය ගෙවිය යුතු මාසයට පසුව එන මාසයේ 25 වන දිනය ලෙස වෙනස් කළ යුතු බව ය. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ අපනයනය සඳහා නිෂ්පාදනය කරන ඇඟලුම් දේශීය වෙළෙඳපොලට නිකුත් කිරීමේදී අයකරන වැට් බද්දද, සියයට 75 සිට සියයට සියයක් දක්වා ඉහළ දමා තිබේ. උප කොන්ත්‍රාත්කරුවන්ට දුන් දේශය ගොඩ නැගීමේ බදු සහනය ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම්වලට ද ලබාදීමට මුදල් අමාත්‍යවරයා අද යෝජනා කළේ ය. විදේශ විනිමය මගින් ගණුදෙනු කරන සංචාරක හෝටල්, පාම් ඔයිල්, මුහුදේ සංචාරක විනෝද ක්‍රීඩා සඳහා යොදා ගන්නා යාත්‍රා හා උපකරණ ද ජාතිය ගොඩ නැගීමේ බද්දෙන් නිදහස් කර තිබේ. මුදල් අමත්‍යාවරයා අද දැනුම් දුන්නේ, දුම්වැටිවලට ලබා දී තිබූ ජාතිය ගොඩ නැගීමේ බදු සහන ඉවත් කරන බව ය. ඩොලර් මිලියන 50 ක් හෝ ඊට වැඩි විදේශ විනිමය මගින් කරන ආයෝජන ව්‍යාපෘති ද ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් වේ. මේ අතර රජයේ සේවකයින්ට ද සහන කිහිපයක් යෝජනා කර තිබේ. රජයේ සේවක ආපදා ණය සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් තුන්ලක්ෂ පනස්දහස දක්වා වැඩි වන අතර ඒ සදහා ගෙවිය යුතු පොලියද සියයට 4.2 සිට සියයට 3 දක්වා අඩු කෙරේ. පොලිස් නිලධාරීන්ට ගෙවන දින 14 සංයුක්ත දීමනාව දෙසැම්බර් 14 වැනිදා සිට දින 20 නව දීමනාවක් ලෙස ක්‍රියාත්මක වේ. රජයේ සේවකයින්ට පාපැදි මිලදී ගැනීමට දුන් ණය මුදල රුපියල් හාරදහසකින් වැඩිකර ඇති අතර ඒ සඳහා අයකරන පොලිය ද සියයට 1.2 කින් අඩුකර තිබේ. කාර්යාල සේවක වාර්ෂික නිල ඇදුම් දීමනාව රුපියල් දහසකින් ඉහළ දමා ඇති අතර රක්ෂණ භාර අරමුදල යටතේ රජයේ සේවකයින්ට ලබාදෙන ඇස් කණ්නාඩි දීමනාව රුපියල් 3000 කින් වැඩි කර තිබේ.