පූජිත් හා හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 23-10-2019 | 10:29 AM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුනි 9 වන දා ඇප ලබා දුන් අතර, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම ඇප නියෝගය පසුගිය 9 වන දා නිශ්ප්‍රභ කළේ ය. මහාධිකරණයේ නිගමනය වූයේ, මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති ඇප නියෝගය ඉතා බරපතළ නෛතික දෝෂ සහිත හා නීතියට පටහැනි බව ය. සැකකරුවන් දෙදෙනා එකී නියෝගය නිකුත් කිරීමට පෙර සිටි තත්ත්වයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට මහාධිකරණය එදින නියෝග කළේ ය.